අප්පච්චි
බැද්දෙන් ඇසෙන වෙඩි හඬින් හිත තිගැස්සෙන රැයේ නින්ද පමා වී ඇස පියවුණේ අලුයමත් ගෙවී යාමෙන් අනතුරුව ය. අම්මාගේ හඬ සිහිනෙන් මෙන් සවනත වැකුණි.
"වෙඩි සද්දෙට කන් දීගෙන හිටි අප්පච්චීටත් නින්ද ගියේ නෑ. මයේ පුතේ අපිට හැමදාම දුක. බුදියාගෙන ඉඳලා හටියන්නේ නෑ. ජීවත් වෙන්නත් එපායැ, කියලයි අප්පච්චී උදෙන් ම ගියේ. රොටියකුයි කහට කෝප්පයකුයි හතුරු කෑල්ලකුයි උඹේ අතේ එවන්න කිව්වා."
මා ළිඳ පැත්තට යදද්දී කුරුලු කිචි බිචිය මැද හිරු රැස් එබිකම් කරන්නට විය.
අපට මෙදා කුඹුරු කරන්නට බැරි වුණේ පැවිල්ල සෑහෙන කාලයක් අල්ලාගෙන සිටි නිසාම නොවේ. කුඹුරු කරන්නට ඈතට යැමට බිය වූ තිසාවෙනි.
"අලි කරදර මදිවාට කොටි කරදර." අප්පච්චි නිතරම කියද්දි මට හීන් දාඩිය දැම්මේය.
"මැණිකේ මෙදා පාර නම් අපි හාමතේ ..."
අම්මා බුදු පහන පත්තු කරන අතරේ මිදුලේ ඇණ කියා ගත්තු අප්පච්චි කතාවට මුල පුරයි.
අප්පච්චි දිග සුසුමක් හෙළද්දි අම්මාගේ තෙහඟ කඳුළෙන් පිරුණු හැටි දැනුදු මැව් පෙනෙයි.
"ලොකු පුතේ උඹ අද යන්නේ නැද්ද?"
අම්මාගේ කටහඩින් කලබල වූ මම කඩුල්ල ළඟට දිව්වෙමි.
කළු පූසි දුවගෙන ඇවිත් දෙපයේ පැටලුණය.
අපේ බැද්ද මොන තරම් සුන්දරද? ලතාවන්ගෙන් ගහණ ඒ පරිසරයට මා ආලය කළ තරම.
එදා මා හේනට දිව්වේ ඉහවහා ගිය සතුටකිනි.
කුරුල්ලන් ද සමනලුන් ද මට ආදරය කෙළේ සොබා දහමේ වරුණ කියමිනි. හාත්පස නිවී සැනසී තිබූ බැද්ද යළි කවදා දකින්න ද?
සියල්ල ම කණ පිට පෙරළුවා සේය. නිතර ඇසෙන වෙඩි හඬට බිය වූ සතා සීපාවන් ඈතින් ඈතට පලා ගොසිනි.
එදා විහිදුණු සුන්දර වන සපුමල් සුවඳ වෙනුවට නාස් කුහර රිදවන්නේ වෙඩි බෙහෙත් කුයිලයි.
මම පය ඉක්මන් කෙළෙමි.
'පෙරදිග මුතු ඇටයයි මේ ....' ගබන් ආතාගේ වෑර්ලස් එකෙන් අහපු ඒ ලස්සන ගීතයෙන් එදා මා විඳි ආස්වාදය අද විඳින්න පුළුවන් ද?
නංගිලා දෙන්නයි මමයි ඉස්කෝලේ ගමන නවත්වා වසර කුනක්ම ගෙවී ගොසිනි.
දැන් නම් ඉස්කෝලේ බිත්ති හතරවත් නැතුව ඇත. සරෝජිනීලා, රාමුලා, සරණපාලලා, නන්දාවතීලා කොහේ සැඟවුණිද?
'ජබොග් .....'
කල්පනා සාගරයේ කිමිදෙමින් සිටි මා පියවි ලොවට පිවිසියේ මඩ වළකට ඇද වැටුණු විට ය. රොටිය ද මඩට වැටුණි.. කොට කලිසමේ මඩ තලියකි. හකුරු කෑල්ල සාක්කුවේ තිබුණු බේරුණි, කහට කේතලය බේරා ගත්තේ බොහොම අමාරුවෙනි. මහ නැස්පැත්තියක පෙර නිමිති දැයි හදිසියේ සිහිවිණි.
"මොකද මයෙ පුතේ පරක්කු වුණේ, දළයාවත් මුණගැහුණා ද? දිවත් ගිලෙන්න ආවා."
එක දිගට කියවා ගෙන ගිය අප්පච්චි හකුරු කෑල්ල කටේ දාගෙන 'ගුඩුස්' ගාත හට උගුරක් බීවේ ය.
අවුරුදු ගණනකට ඉස්සර තාත්තාට පපුවේ අමාරුවක් හැදුණි. ගමේ ඉස්පිරිතාලෙන් බේත් අරන් දුන්නාට සනීප වුණේ නැත. ඒත් දැන් ඉස්පිරිතාලේ වහලයවත් නැත. ඒ පැත්තේ කොටි ඉන්නවා කියන නිසා පණට ආදරේ ඇති කවුරුත් යන්නේ නැත.
අලි කොටි මැද ජීවිත සටන ජය ගන්න වෙර දරන මයෙ අප්පච්චි......
මගේ පපුව හෝස් ගා ඇවිලුණි.
කුරහන් ටිකවත් ඉහ ගත්තේ නැත්නම් අම්මයි නංගිලායි හාමතේ මියැදෙනවා..
නළලින් දහඩිය මුගුරු පිසදාගත් ඔහු යළි උදැල්ල අතට ගත්තේ වේදනාත්මක කැස්සක් ද පිට කරමිනි.
කටු පඳුරු වලට ඇඟ පත සීරුණත් මාත් හරි හරියට වැඩ කළේ හෙම්බත් වී සිටි අප්පච්චි කෝප ගැන්වීම නොවටිනා බැවිනි.
ඉර මුදුන් වීගෙන ආවේ ය. එක පිට එක වෙඩි හඬ පැතිරෙන්නට විය. අප්පච්චි ගල් ගැසී මදෙස බැලුවේ ය.
"අන්න අරුං මේ පැත්තට ඇවිත් වගේ."
අප්පච්චි ආයාසයෙන් කඩ හඬ අවදි කරද්දි අම්මාත් නංගිලාත් සිහි වී මගේ දෑසට කඳුළු ඉනුවේ ය.
වැඩ නැවැත්වූ අප්පච්චි උදැල්ලත් කරට අරන් පය ඉක්මන් කෙළේය. මම ද ඔහු පස්සෙන් වැටුණෙමි.
කන් බිහිරි කරන බෝම්බ හඬින් බැද්ද දෙවනත් විය.
අප්පච්චි පපුව අල්ලාගෙන බිමට පාත්විය.
"අනේ මයෙ අප්පච්චි ...."
මට කියා ගත හැකි වුණේ එපමණකි. අප්පච්චි ඇස් පියාගෙන ම සිටියේ ය. මට මහා හයියෙන් හැඬුම් ආවේ ය. ගම රකින්නට සිටි වීර හමුදාවත් කොටිනුත් හරි හරියට වෙඩි තියා ගන්නවා ඇතැයි මට සිතුණි.
මම හනික ගෙදර දිව්වෙමි.
හමුදාවේ අයියලාගේත් කොටි කොලු කුරුට්ටන්ගේ සිරුරු තැන තැන විසිරී තිබිණි.
ඒවා නොදැක්කා සේ දුවද්දී අපේ වැට කඩුල්ලත් ළඟ ළඟම පෙනුණි.
මට මුලින්ම සිතුණේ අප්පච්චිට වූ ඇබැද්දිය අම්මාට කියන්නට ය. පය පැකිලී බිම ඇද වැටුණු මා ඔළුව උස්සා බලද්දී දුටුවේ නෙත් ඇදහිය නොහැකි දසුනකි. අපේ අතු පැල එකම ගිනි ජාලාවකි.
"අනේ අම්මේ නංගිලාත් අරන් ඉක්මනට එළියට පැනගන්නකෝ."
හැකි තරම් වෙර යොදා කෑගැසුවත් ඇසුණු කෙනෙකු අහල ගම් හතකවත් නැති ගානය. බුර බුරා නැගෙන ගිනි දැල් හැරෙන්නට වෙන කිසිම දෙයක් පෙනුණේ නැත.
'මයේ ලොකු පුතේ' කියාගෙන එන අම්මාත් ලොකු අයියේ කියාගෙන දුවගෙන එන නංගිලාවත් පෙනෙන තෙක් මානයේවත් නැත. හඬන්නට තවත් කඳුළු ඉතිරි ව නැතිවා සේය.
රෑ බෝවෙද්දී වෙඩි හඬ කෙමෙන් වියැකිණි. අඳුර මැද මට මහා තනිකමක් දැනෙද්දී ඉබාගාතේ ඇවිද්දෙමි.
හඳ පායාගෙන ආවත් යළි එහි සුන්දරත්වය විඳින්නේ කවුරුන් සමඟද?
ගම්මුන්ගේ විලාපය රැහැයි හඬට මුසුවිය. ගිනිගත් පැල්පත් පසු කරමින් මම තවත් ඈතට ගියෙමි.
"ඒයි ඔහොම නැවතියන්."
පඳුරු අස්සෙන් එළියට ආවේ අවි අමෝරාගත් හමුදා භට පිරිසකි.
"ගමේ ළමයෙක් අතරමං වෙලා වගේ."
සෙබළකුගේ හඬ යන්තමින් ඇසෙද්දී මම බිම වැටෙනවා යන්තමට මතකය.
"මොකද උඹ මතන නිඳි කිරන්නේ? ගේ අතුගාලා ඉවර නම් මල් පාත්ති වලට වතුර දාපං."
ලොකු මැඩම්ගේ හඬින් මගේ කල්පනා ලොව සුනු විසුණු විය.
මිදුලේ සිට දිව ආ ලොකු බේබි බැට් පිත්තකින් මගේ පිට කොන්දට තඩි බාද්දී ලොකු මැඩම්ට සිනා පහළ විය.
0 Comments:
Post a Comment