Thursday, February 17, 2022

මම (mama) by Channa Bandara Dolapihilla

 මම


ජරබාරාස් ....


මිනී කාමරේ දිග ලාච්චුවක් ඇරේ.


මැදිවියේ තැනැත්කුගේ මළ සිරුරක් එහි දිස් වේ.


ටී.කේ. උභයවීර


වයස හතළිස් දෙකයි.


මරණයට හේතුව - සිරෝසිස්.


"දැන් මෙතන අත්සන් කරලා මිනිය බාර ගන්න."


මිනී කාක්කන්ගේ ඇස් ගිනි පුළිඟු මෙන් ළඟ ළඟ ම දිස් වෙද්දී මළකඩ බොඩියක් ගැසූ මිනී රථය පේරාදෙණිය රෝහලේ මෝචරියෙන් පිටවිය. රංජනීත් දරුවනුත් තුෂ්නිම්භුතව බලා සිටිය දී සුදු මීදුම් සළුවක් ඉහළට එසවිණි.





        මගේ ආත්මය බලන ගිරි දුර්ගයෙන් අහසට පිවිස සැහැල්ලුවෙන් පාවෙන්නට පටන් ගත්තේය. බදුලු කෝච්චිය හති දමමින් කන්ද නඟින අයුරු දිස් වේ. මම ටිකෙන් ටික මගේ නිවෙස දෙසට සැහැල්ලුවෙන් පාවී ගියෙමි. මගේ මරණය අඟවන සුදු කොඩි ගමේ හැම තැනම ලෙළ දෙයි.


'සද්ගුණවත් උභයවීර සොහොයුරාට නිවන් සුව පතමු' යනුවෙන් ලියූ බැනරයක් නිවෙස අසල මාර්ගයේ දිස්වේ.


සුදු වතින් සැරසුණු ගැහැනුන් සහ මිනිසුන්ගේ කන්කරච්චලයකි. මගේ සිරුර බහාලු බාල ලීයෙන් තැනු පෙට්ටිය දෙපස පොල් තෙල් පහන් දෙකකි. දෙණට ඉහළින් සුදු උඩු වියනකි. සිරුරට අන්දවා තිබුණේ මා විවාපත් දිනයේ ඇඳ පැලඳ සිටි ලා නිල් පැහැති යුරෝපීය ඇඳුම් කට්ටලයයි. එය කදිමට ඉස්තිරික්ක කොට තිබිණි.


කෝට් සාක්කුවට ඉහළින් රඳවා තිබූ රතු රෝස මල මැලවී ගොසිනි. රංජනීත් දරුවෝත් මගේ නිසල සිරුර අසල වැළපෙමින් සිටියහ.


මට කිසිම දවසක කිසිම උපකාරයක් නොකළ ගමේ පිරිසක් පෙට්ටිය වටා කුඩා විදුලි බුබුලු දැල්වීමටත් මිදුල අවට ආලෝකවත් කිරීමටත් පොරකනු දුටු මට ඉබේම සිනා පහළ විය.


"ඔන්න ඔය වයර් රෝල මෙහාට ගනිං මචං." මධුවිතෙන් රත් වූ අයකුගේ බැරැණ්ඩි හඬක් .....


ඒ හඬ මගේ නිවෙසෙට විදුලිය ගැනීමේ දී ඔහුගේ වත්තට උඩින් රැහැන් අදිනවාට විරුද්ධ වී කසිප්පු බිගෙන කඩුවෙන් කොටන්නට පැන්න මාතුපාලගේ ය. රංජනී මැදිහත් නූනා නම් මා මිය යන්නේ එදාය.


"මචං අතෙන්ටත් තව ලයිට් එකක් දාමු."


අල්ලපු ගෙදර ජනේලය ළඟට ගිය සිරිමාන්න එහි සිටි මැදිවියේ කාන්තාවකට දිව දික් කළේය.


මගේ නිවසේ තවත් මුල්ලක කසු කුසුවකි. වෙනදා නොදුටු නැදෑයන් පිරි ඉතිරි ගොසිනි. මළ ගෙදර ඇද කුද කියමින් සිටි ඔවුන්ගේ ඔච්චම් සිනා හඬ මව් නැසුණා නොවේ.


"බල සංකෝ මැරිලත් අරුගේ මුනේ මනමාලු පාට .... දවසක් බීගෙන ඇවිත් මගේ පස්සෙන් ආවා." සරෝජා, කාන්තිගේ කනට කෙඳිරුවා ය.


මධ්‍යම රාත්‍රිය එළඹෙද්දී විදුලි රැහැන් ඇද්ද අය අතුරු පාරකට වී තවත් ගල් බෝතලයක් අරිනු පෙනුණි.


දන්තනාරායනගේ අවම් කතාවලින් පසු ඇසුණු සිනා හඬින් රැයේ නිහඬතාව බිඳිණි.


මිදුලේ තවත් තැනක මට හිතවත්ව සිටි පිරිසක් මධු විත තොලගෑවේ බොක්කෙන්ම දුක් වෙමිනි. තොර පාරෙන් බෝතල් ගෙනවිත් දුන්නේ අපේ මල්ලී උභය සිරි ය.


"අනේ පවු මචං අරු අද හිටියානං, අපිත් එක්ක බලා සින්දු කියනවානේ."


තවත් කටකාරයෙක් කට දැම්මේ ය. කොහේදෝ සිට කඩා වැදුණු බලු තඩියෙක් කට ගැස්මට ගෙනා කරෝල කැල්ලක් ඩැහැ ගත්තේය.


ගමට හිරු පායමින් තිබිය දී මගේ මළගමට දුම්රියෙන් පැමිණි කන්තෝරු සගයන්ට නම් මේ ගමන මධුවිතෙන් පිදු විනෝද සවාරියක් වූවාට සැක නැත. සුදු වතින් බිම බලාගෙන පැමිණි ඔවුන්ගේ මුහුණු මධුවිතෙන් දිලිසිණි. මුළු කන්තෝරුවෙන්ම මා තේරුම් නොගත් දිස්නාගේ මැලවුණ මුහුණත් ඒ අතරින් දිස් විය. මට ඒ මුහුණ කවදාවත් අමතක වන්නේ නැත.


මගේ අතිජාත මිත්‍ර යෝද එකම දේශපාලන පක්ෂයේ ඉඳගෙන බෙල්ල කැපු අය ද, උසස්වීම්වලට කෙළ හලමින් ලොක්කන්ගේ ගෙවල් වලට කිරි හට්ටි පිටින් ඇද්ද අයද දුක් මුහුණු මවාගෙන නිවෙසට ගොඩ වෙනවා පෙනුණු මට යළි සිනා පහළ විය.


වසර 11 ක් තිස සේ නුවර-කොළඹ ගමන් කරමින් බස්වල කෝච්චි වල දහ දුක් වින්ද මට රුපියල් 100ක් වැඩි කරන්නට පැන නොඉස්සු දංදෙණිය කට ඇදකොට රංජනීට ආචාර කරනු පෙනිණි.


හැමදා ම රතු ඉර ගසමින් දිස්නාට කෙල හළපු දං දෙණිය ගෙට ගොඩවීම ගැන කෝපයක් මතු වුණත් මා උඩුබැලි අතට දිගා වී නුදුටුවා මෙන් සිටිද්දී කන්තෝරු සගයන් ගරු සරු ඇතිව ඔහුට කතා කරනු දුටුවෙමි.


මේ අතරින් මතු වූ මගේ හොඳ මිතුරා හොඳට ම බීගෙන ඇවිත් වැළපෙද්දී මට දරාගත නොහැකි ශෝකයක් දැනුණි.


"අනේ උඹ කවදා දකින්නද."


        ඔහුගේ විලාප හඬින් කසු කුසු හඬවල් යටපත් විය. ඔහු රංජනීට ආචාර කරද්දි දරුවෝ ද හඬන්නට වූහ. ඔවුන් අත ලොකු පාර්සලයක් තැබූ ඔහු වැඩි කතා බහක් නැති ව ඔහේ බලා ගෙන සිටියේය.


        "අයියෝ අද මගේ ඕටී එකක් මිස් වුණා. මේ යකා ලබන සුමානේ මළා නම් කොච්චර එකක්ද? යාන්තම් අද මේකා වළ දානවා. හෙට උදේට වැඩට යන්න පුළුවන්."


කොළඹින් පැමිණි කුහක නෑදෑයෝ කසු කුසු ගෑහ.


අඟ පසඟ මතුවෙන්න ඩෙනිම් ඇඳගෙන කිචි බිචි ගෑ කෙල්ලන් මගේ අවධානය වෙනතකට හැරවීමට සමත් විය.


සැඳෑ සමය එළඹෙද්දී දේහය ඔසවාගත් නෑදෑයෝ හිතවත්තු මා සොහොන් බිමට ඇරලවුහ. පිරිස ඈතින් ඈතට විසිර යද්දි සොහොන් බිමේ ඉටිපන්දම් දැල් වූ රංජනීත් දරුවනුත් ආපහු හැරුණේ දරාගත නොහැකි ශෝකයෙනි.


කුහක නෑදෑයන් ගමන් මලු ඔසවාගෙන මෝටර් රථවලට නැගුණු අතර කන්තෝරුවෙන් පැමිණි මිතුරන් අවන්හලකට ගොඩ වැදී මධුවිත තොල ගෑවේ සෝ තැවුල් තුනී කරගන්නට ය. ගමේ මිතුරන් හතුරන් යළි ගෙට ගොඩ වී බිස්කට් කමින් සිසිල් බීම බොද්දි මට කුස ගින්නක් සා පිපාසාවක් නො දැනුණි.


මම පුළුන් රොදක් සේ සැහැල්ලුවෙන් ඉහළට පා ගියෙමි. මගේ නිවෙස කෙමෙන් නොපෙනී ගියේ ය.


රංජනීගේත් දරුවන්ගේත් සෝබර මුහුණු ද නොපෙනී ගොස් ඊර්ෂ්යා්වෙන් ක්රෝනධයෙන් දැවෙන මිනිසුන්ගෙන් ද සදහටම වෙන් වුණෙමි.


වසර හයක් ගතවිණි. එත් අද එදා වගේද?


නැත... මෙය මගේ නිවෙසද?... පෝටිකාව යට කුණු ලේ පැහැති ප්රාේඩෝ රියකි. අමුත්තෙක්වත් ඇවිල්ලා ද? අඩ අඳුරේ ගිලුණු නිවසේ හැලහොල්මනක් නැත.


සාලයේ 'හෝම්' තියට රියකි. පසෙකින් දැවැන්ත සෙටප් එකකි. රංජනි මායි නිදාගත් කාමරයෙන් ජෝඩුවක් මුමුණනු ඇසුණි.


මට කිසිම වෛරයක් වේදනාවක් නොදැනුණි. මතක් වූයේ රහල් හිමියන්ගේ කවියක් පමණි.


තවත් දවසක් උදා විය.

දළ රළ බිඳෙන හඬ ළඟ ළගම ඇසේ

මුහුදු ලිහිණි මා අසලින් පියාඹති.

මම දැන් ඈතින් ඈතට පාවී යමි.


✎✎✎✎✎✎✎✎✎✎✎✎✎✎✎✎✎✎✎






දිනමිණ හිටපු ප්‍ර‍ධාන උපකර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්න බණ්ඩාර දොළපිහිල්ල

0 Comments:

Post a Comment