Monday, December 6, 2021

රෝසිගේ උපන්දින තෑග්ග by Ishira Savindi Jayasinghe

 රෝසිගේ උපන්දින තෑග්ග


    රෝසි පුංචි ගැහැණු ළමයෙක්. එයාගෙ අම්මායි තාත්තායි රෝසිට ගොඩාක් ආදරෙයි. ඒ රෝසි හොඳ ළමයෙක් නිසා.


    රෝසිගේ උපන් දිනය ළඟ ළඟම එනවා. රෝසිගේ අම්මායි තාත්තායි කතා වුණා රෝසිට උපන්දින තෑග්ගක් අරන් දෙන්න.


    අනෙක් දවසේ අම්මායි තාත්තායි වැඩ ඇරී ගෙදර එන ගමන් කූඩ සාප්පු ගියා. එහි පාට පාට ලස්සන කුඩ ගොඩාක් තිබුණා. අම්මා ලස්සන පාට පාට මල් තියන කුඩයක් මිලදී ගත්තා. ඔවුන් ඒකත් අරගෙන ගෙදර ගියා. රෝසිට නොපෙනෙන්ට එය අල්මාරියේ දමා වැසුවා. රෝසිගේ උපන් දිනය හෙට.


     ඊ ළඟ දවසේ රෝසි උදෙන්ම නැගිට්ටා. එදා පාසල් නිවාඩු දවසක්. අම්මායි තාත්තායි එක්ක රෝසි දානය අරන් පන්සල් ගියා. ලොකු හාමුදුරුවෝ රෝසිට උපන් දිනය වෙනුවෙන් ආශිර්වාද කලා.


    ටික වේලාවකින් ඔවුන් පන්සලෙන් පිටවී ගෙදර ආවා.


    රෝසිගේ අම්මායි තාත්තායි රෝසිට ලස්සන පෙට්ටියක දැමූ තෑග්ග දීලා සුබ උපන් දිනයකට ආශිර්වාද කළා. එයා අම්මාටත් තාත්තාටත් වැඳ තෑග්ග අතට ගත්තා.


    රෝසිට ඉවසිල්ලක් නෑ තෑග්ග බලන තෙක්. පෙට්ටිය ඇරලා තෑග්ග එළියට ගත්තා.


    " හරිම ලස්සනයි. " රෝසි සතුටින් කීවා.


    හෙට වෙනකම් රෝසිට ඉවසිල්ලක් නෑ අලුත් කුඩේ අරන් පාසල් යන්න.


    පහුවදා උදෙන්ම රෝසි පාසල් ගියේ එයාගෙ ලස්සන කුඩෙත් අරගෙන.





    පන්තියේ යහළුවන්ට එයාගෙ උපන් දින තෑග්ග පෙන්නුවේ හරිම සතුටින්.


    යහළුවන් එයාට සුබ පැතුවා උපන් දිනය වෙනුවෙන්.


    ටික වේලාවකින් එයාලගෙ ගුරුතුමී පන්තියට ඇවිත් පාඩම් වැඩ පටන් ගත්තා.


    පාඩම් වැඩ කරගෙන යන අතරෙදි, යාන්තමට කවුද ඉකි ගහමින් අඬන ශබ්දයක් ඇහුණා.


    නෙලුම් මේසයට ඔළුව තියන් අඩනවා. ගුරුතුමිය නෙලූම් ළඟට ගියා. "ඇයි නෙලුමි ඔයා අඩන්නෙ..?" ගුරුතුමිය ඇසුවා.


    නෙලුම් තව හයියෙන් අඬනවා. ළමයි හැමෝටම දුකයි.


    "ඇයි නෙලුමි ඔයා අඬන්නේ..?'' කියලා ගුරුතුමිය ආයෙත් ඇසුවා.


    "රෝසිගෙ වගේම අද මගෙත් උපන් දිනය, ඒත් අම්මා මට උපන් දින තෑග්ගක් දුන්නෙ නෑ"


    "ඇයි..?" ගුරුතුමිය ඇහුවා.


    "අපි ගොඩාක් දුප්පත්, ඉතින් තෑගි ගන්න අම්මාට මුදල් නෑ. "


    "රෝසිගෙ ලස්සන තෑග්ග දැක්කම මට දුක හිතුණා."


    පන්තියේ හැමෝටම හරිම දුකයි.


    රෝසිගේ ඇස් දෙකට කඳුළු ආවා. එයා ටික වෙලාවක් කල්පනා කළා. එයාගේ ලස්සන කුඩයත් අරන් නෙලුම් ළඟට ගියා,


    "නෙලුම්, මේක ඔයාට මගෙන් තෑග්ගක්, ගන්න.'' නෙලුම් තෑග්ග ගන්නේ නැතුව පුදුමයෙන් රෝසි දිහා බලන් හිටියා.


    "ගන්න නෙලුම්, රෝසි කැමැත්තෙන්නේ දෙන්නේ." ගුරුතුමිය කීවා.


    රෝසි නෙලුම්ට තෑග්ග දෙනකොට අනික් ළමයි සතුටින් අත්පුඩ් ගැහුවා.


    ගුරුතුමිය සතුටින් බලාගෙන හිටියා. රෝසිගේ හිතට අමුතු සතුටක් දැනුණා.


    "තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියන්නේ ඕකට තමයි." කියලා ගුරුතුමිය සතුටින් කීවා.


මේ කතාව ලීවේ ඉෂිරා සවින්දි ජයසිංහ (3 වසර)

0 Comments:

Post a Comment